Aranavihara.com

1816-18 සිංහලේ විමුක්ති අරගලය වෙනුවෙන් දිවි පිදූ ගිහි පැවිදි විරුවන්ගේ ගුණ සැමරීමේ පිංකම.

2023 දෙසැම්බර් මස 30 වැනි සෙනසුරාදා නම් එනම් ඊයේ දින, මොණරාගල, වැලියාය සිරි පියරතන විද්‍යාතන පිරිවෙන් විහාරස්ථානයේ දී, 1816-18 සිංහලේ විමුක්ති සටනේදී දිවිදුන් භික්‍ෂු-භික්ෂුණී උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසට පින් පැමිණවීමේ පින්කමක් සහ ඔවුන් ගේ ගුණානුස්මරණ වැඩසටහනක් පැවැත්විණි.

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ, මල්වතු පාර්ශවයේ, ඌව- වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සංඝ කීර්ති ශ්‍රී ධම්මාවාස, ශාස්ත්‍රපති පූජ්‍ය කන්දරපංගුවේ සුධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පනස් නමක් විෂයෙහි දහවල් සංඝගත දක්ෂිණාවක් පිරිනමා ඔවුන්ට එහිදී පිං අනුමෝදන් කරනු ලැබිණි.

මේ අවස්ථාවට මොණරාගල, මහානාම මැදි මහ විදුහලේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, වෙල්ලස්ස විද්වත් සංසදයේ ගරු නියෝජ්‍ය සභාපති, ශාස්ත්‍රවේදී කන්දරපංගුවේ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මොණරාගල, බිබිල කලාපයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක, තැරෑල ශ්‍රී විජය වර්ධන පිරිවෙන් විහාරාධිපති, මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය කන්දරපංගුවේ සුගතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය සහභාගී වූහ.

එමෙන්ම මේ අවස්ථාවට සුවපත් දේශය සංවිධානයේ සභාපති, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කුමාරසිරි රත්නායක, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති සහ ලෝක බෞද්ධ සම්මේලනයේ, ශ්‍රීලංකා ශාඛාවේ සභාපති, ආචාර්ය සුදත් දේවපුර, සුවපත් දේශය සංවිධානයේ ලේකම්, වරලත් පරිසරවේදී, නීතිඥ දර්ශනී ලහඳපුර සුවපත් දේශය සංවිධානය මොණරාගල දිස්ත්‍රික් සංවිධායක අශෝක බාලසූරිය, විධායක සභිකවරුන් වන ඉංජිනේරු නිමල් ලියනගේ, අජන්ත පෙරේරා, සුවපත් දේශය සන්ධානයේ, නීතිඥ අනුරාධා නිශාදී ගමාරච්චි, ලංකා තරංග, චමත් පෙරේරා යන මහත්ම මහත්මීවරු ඇතුළු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

මේ උදාර පින්කම සංවිධානය කළ අශෝක බාලසූරිය, නිමල් ලියනගේ ඇතුළු සංවිධායක කණ්ඩායමට, පින්කමට පෙර දිනවල මොණරාගල ප්‍රදේශයට නොනවත්වා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් නොයෙක් බාධා හිරිහැර එල්ල විය. පින්කමට පෙර දින පස්වරුවේ බුද්ධ වන්දනාවෙන් පසු කන්දරපංගුවේ සුධම්ම නාහිමිපාණන් විසිනුත්, නාලක ජයසේන මහතාගේ මැදිහත්වීමෙන් ගාල්ල ප්‍රදේශයේ ආධ්‍යාත්මවේදීන් පිරිසක් විසිනුත්, තවත් බොහෝ බොහෝ අය විසිනුත් මේ පින්කම සාර්ථකව නිමා කර ගැනීමට උපකාර කරන මෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියහ. ආශ්චර්යයක් මෙන් පින්කමට වර්ෂාවෙන් කිසිදු බාධාවක් එල්ල නොවිණි.

මේ උදාර පින්කම සංවිධානය කළ සුවපත් දේශය සංවිධානයේ හැම දෙනාටමත්, ඊට නන් අයුරින් දායක වූ දෙස් විදෙස්හි වෙසෙන සියලු දෙනාටමත්, වෙල්ලස්සෙන් මේ සඳහා සහයෝගය දැක්වූ හැම දෙනාටමත්, නිදුක් නිරෝගී චිරජීවනයම වේවායි පතමි